ක්ෂණික නූඩ්ල්ස් කාපු ගමන් ඔබේ සිරුරට වෙන දේ

ඔයා ආශාවෙන් රසට කන ක්ෂණික නූඩ්ල්ස් ඔබව මාරයා ලඟට කැඳවාගෙන යාමට හවුල් කාරයෙක් වෙනවා කිවුවොත් ඔබ ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගැනීම නවතනවද? සම්පූර්ණ ලිපිය කියවන්න. බොහෝ දෙනෙක් ක්ෂණික නූඩ්ල්ස් වලට ඇබ්බැහි වෙලා. ඒ රසට ගොඩක් අය වශී වෙලා. කොච්චර අගුණයි කිව්වත් ඔයා හිතන්නේම ක්ෂණික නූඩ්ල්ස් වලින් ශරීරයට හානි වෙන්නේ නැහැ කියලයි. ඒත් ක්ෂණික නූඩ්ල්ස් වලට පුළුවන් අප කිසි විටෙකත් නොසිතන විදිහේ සෞඛ්‍ය ගැටළු රැසක් ඇති කරන්න. එලෙස ඔයාගේ සිරුරට සිදු වන හානිය සහ බලපෑම් ගැන පර්යේෂණ කිහිපයකින් සොයාගෙන තිබෙනවා.

වැඩි ජල ප්‍රමාණයක් ශරීරයේ රඳවා ගැනීම

විටමින්, තන්තු සහ ඛනිජ වැනි පෝෂණ ගුණද ක්ෂණික නූඩ්ල්ස් වල අඩංගු වන්නේ නැහැ. ඒ වගේම ඔයා ඒවා අනුභව කරන විට වැඩි ජල ප්‍රමාණයක් ශරීරයේ රඳවා ගන්නවා. ඒ ක්ෂණික නූඩ්ල්ස් වල අඩංගු රසකාරක හේතුවෙන්. ඒ නිසයි ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගැනීමෙන් පසු අධික ලෙස පිපාසය ඇති වන්නේ. සාමාන්‍ය නූඩ්ල්ස් හා සසඳන විට ක්ෂණික නූඩ්ල්ස් ආමාශය තුළ වැඩි වෙලාවක් රැඳී තිබෙනවා. මේ හේතුව නිසා ඔයා අසනීප වීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා.

නිර්දේශිත සෝඩියම් ප්‍රමාණය ඉක්මවා යෑම

ක්ෂණික නූඩ්ල්ස් ආහාරය ගැනීමෙන් ඔයාට දිනකට අවශ්‍ය සෝඩියම් ප්‍රමාණය එක් වරකදී සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ ඔයාගේ දෛනික සෝඩියම් ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් ලැබෙනවා. මේ ක්ෂණික නූඩ්ල්ස් බොහෝ දුරට ලුණු, MSG සහ කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන්නේ. ඒ නිසා මේවා ආහාරයට ගැනීම සීමා කරන්න.

බෝ නොවන රෝග

පර්යේෂණ වලින් අනාවරණය වී ඇති කරුණු වලට අනුව නම් ක්ෂණික නූඩ්ල්ස් සතියකට දෙවරක් තුන්වරක් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව, හෘද රෝග සහ පිළිකා වැනි බෝ නොවන මාරාන්තික රෝග තත්වයන් ඇති වීමේ අවදානමක් තියෙනවා. මේ අවදානම වැඩි වශයෙන් පවතින්නේ කාන්තාවන්ටයි. ඊට අමතරව ඇස් පෙනීම දුර්වල වීමද ඇතිවිය හැකියි. ඒ නිසා ක්ෂණික නූඩ්ල්ස් වූවත් පිළියෙළ කිරීමේදී එහි අඩංගු රසකාරක පැකට්ටුව එකතු නොකර නැවුම් එළවලු, රසකාරක එකතු කරගන්න.