ලේ දන් දෙනවනම් මේ දේවල් අනිවාර්යයෙන් දැනගන්න

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ලේ දෙන්න තමන් සුදුසුද? නැද්ද? කියන එක. ඇත්තටම කියනවා නම් හැමෝටම හිතුමානාපෙට ලේ දන් දෙන්න බැහැ. මොකද ඔයා රුධිර දායකයෙක් වෙන්න කලින් සපුරාලිය යුතු සුදුසුකම් තියෙනවා. ලේ දන්දීලා කෙනෙකුගේ ජීවිතය බේරාගැනීම ලොකු පින් අතේ වැඩක්. ඒ නිසාම එක එක කාල වලට විවිධ ලේ දන්දීම් වැඩසටහන් පවා පැවැත්වෙනවා. මේ කියන්න යන්නේ ඔයා කොහොමද හරියටම රුධිර දායකයෙක් වෙන්න සපුරාලිය යුතු සුදුසුකම් ගැනයි.

මූලික සුදුසුකම්

වයස අවුරුදු 18–60 අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ලේ දන්දෙන්න පුළුවන්. හැබැයි ඔයා පළමුවරට රුධිර පරිත්‍යාග කරන්නේ නම් අවුරුදු 55 වන තෙක් ඒ සඳහා අවස්ථාව තියෙනවා. බර 50kg ට වැඩිවීම. රුධිර හිමොග්ලොබින් ප්‍රමාණය ඩෙසිලීටරයටග්‍රෑම් 12 ට වැඩිවීම. මාස 4කට වරක් නැවත නැවත පූර්ණ රුධිරය පරිත්‍යාග කළ හැකි අතර පට්ටිකා පමණක් සති 2කට වරක් ලබාදිය හැකියි.
නිරතුරු සමබර ආහාර වේලක් ලබාගන්නවා නම් නිරතුරු රුධිර පරිත්‍යාගයටද සුදුසු වෙනවා.

මෙම සුදුසුකම්වලට අමතරව, පරිත්‍යාගය නිසා රුධිර දායකයාට යම් සෞඛ්‍ය ගැටළුවක් ඇති වේ නම් රුධිරය ලබා ගන්නේ නැහැ. රුධිරයෙන් බෝවන රෝගී තත්ත්ව සහිත අයගෙන් රුධිරය ලබා නොගනී.

වෛද්‍යවරුන්ට නොසඟවා පැවසිය යුතු දේවල්

ඔයාට විශ්වාසවන්ත එක් ලිංගික සහකරුවකුට වඩා සිටින්නේ නම්, ඔය පිරිමි – පිරිමි ලෙස හෝ ගැහැණු – ගැහැණු ලෙස සමරිසි ලිංගික සබඳතා පවත්වා ඇත්තෙක් නම්, ඒ වගේම කවදා හෝ මුදල් අපේක්ෂාවෙන් ලිංගික කටයුතුවල යෙදී ඇත්නම් ඒ ගැන වෛද්‍යවරයාට පවසන්න. ඔයා මත්ද්‍රව්‍ය එන්නත් ලබාගෙන ඇත්නම්, කෙදිනක හෝ සෙංගමාලය වැළඳී ඇත්නම් හෝ නිදන්ගත රෝගයකින් පෙලෙන්නේ නම්. පසුගිය වසර ඇතුළත ඔයා ලබාගෙන ඇති එන්නත් පිළිබඳ සියලු විස්තර,
කෙදිනක හෝ රුධිරය හෝ රුධිර කොටස් ලබාදී තිබෙනවා නම්. ඔයා වසරක කාලයක් තුළ පච්ච කෙටීම, කන් විදීම ආදියට පෙළඹී තිබීම. ඒ වගේම ඔයා මාස 6ක් ඇතුළත යම් ශල්‍යකර්මයකට මුහුණ දී ඇත්නම්. යම් රෝගී තත්ත්වයකින් පසුවූයේ නම් හෝ යම් ඖෂධයක් ලබා ගන්නවා නම් සහ ශරීරයේ යම් තුවාලයක් පවතින්නවා නම් ඒ ගැනත් පවසන්න.

ඊට අමතරව ස්නායු ආබාධ, වලිප්පුව, හදවත් රෝග, මානසික රෝග, දියවැඩියාව, ඇදුම, පිළිකා, අධිරුධිර පීඩනය, වකුගඩු හෝ අක්මාව ආශ්‍රිත රෝග ආදී රෝගයකින් ඔයා පෙළෙනවා නම් වෛද්‍යවරයාව දැනුවත් කරන්න. එමෙන්ම ඔයා හොඳ ශාරීරික සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිය යුතු අතර ප්‍රධාන ආහාර වේල පැය 4ක් ඇතුළත ලබාගෙන සිටිය යුතුයි. අධික ලෙස වෙහෙස වී නොසිටිය යුතු අතර අඩුම තරමේ පැය 6ක නින්දක් ලබා තිබිය යුතු වෙනවා. රුධිරය පරිත්‍යාග කිරීමට එනවිට, පිරිසිදුව පැමිණීම වැදගත්.

රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු පිළිපැදිය යුතු දේවල්

රුධිරය එක්රැස් කරන ස්ථාන භාර වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ එම ස්ථානයේම අවම වශයෙන් මිනිත්තු 20ක්වත් විවේකීව රැඳී සිටිය යුතුයි. ඒ වගේම සුළු ආහාරයක් සහ දියරමය පානයක් ලබාගත යුතුයි. එමෙන්ම රුධිරය ලබාගත් ස්ථානයේ ඇලවූ ප්ලාස්ටරය අඩුම තරමේ පැය 12ක් වත්යනතෙක් ඉවත් නොකළ යුතු වෙනවා. පළමු පැය 4 තුළ හොඳින් දියර වර්ග පානය කළ යුතු අතර රුධිර පරිත්‍යාගයට පෙර පැය 4 තුළද වැඩි දියර වර්ග පානය කිරීමෙන් මෙලෙස කිරීමෙන් ඔයාට ඇතිවන ශාරීරික අපහසුතා මඟහරවා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රධාන ආහාර වේල ලබාගන්නා තුරු මත්පැන් පානය කිරීමෙන් වළකින්න. සාමාන්‍ය ලෙස ස්නානය කළත් කිමිදීම, දියේ ගිලී නෑම හෝ ව්‍යායාම කිරීම නොකළ යුතුයි. ඔයා රුධිරය ලබාදුන් දිනයේදී බරවාහන පැදවීම, ගුවන්යානා පැදවීම හෝ එවන් අනතුරැදායක ක්‍රියා නොකළ යුතු වෙනවා. ඒ වගේම රුධිරය ලබාදී සතියක් ඇතුළත කිසියම් බෝවන රෝගයක් වැළඳුණේ නම් ඒ පිළිබඳව අදාළ ලේ බැංකුව දැනුවත් කරන්න.

රුධිරය ලබාදීමෙන් ඔයාගේ සිරුරට සිදු වන දේ

එලෙස ඔයා ලබාදෙන රුධිරය ඉතා සුලු කාලයකින් යළි ශරීරය තුළ නිපදවීම ආරම්භ වෙනවා.
මෙමඟින් නිසා කිසිවිටෙකත් ශරීරයේ බර අඩු හෝ වැඩි වීමක් සිදුවන්නේ නැහැ. ඒ වගේම වෙනත් රෝගාබාධ ඇති වන්නේත් නැහැ. අන් අයට වඩා රුධිර දායකයන්ට හෘදයාබාධ අංශභාගය වැනි රෝග වැළඳීමේ ප්‍රවණතාව අඩුයි.

ඔයා මෙලෙස ලබාදෙන රුධිරය රෝගී පුද්ගලයෙකුට, දරුවකුට හෝ ගර්භණී මවකට ලබාදෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ ජීවිත අවදානමක හෙළන්නේ නැතිව ඉහත සඳහන් කරුණු ගැන අවධානය යොමු කරන්න.